"අම්මේ!!!"
මං කෑගහගෙන දිව්වෙ පිස්සෙක් වගේ. ලෙඩ්ඩු බලන්න ඇවිත් ගෙදර යන මිනිස්සු කොරිඩෝවල පිරිලා. ඒ හැමෝම මගේ දිහා අමුතුවට බලලා පුළුවන් තරම් එහාට වෙලා වේගෙන් වේගෙන් යන්න ගියේ, ඇත්තටම මං පිස්සෙක් කියලා හිතලද කොහෙද!ඒත් අම්මා පේන්න නෑ. එයාලා හුඟක් දුර ගිහින්. මට දුවන්න බෑ. කකුල් දෙක මගේ නෙමේ වගේ. ඒත් එහෙම කියලා කරන්න දේකුත් නෑ. අම්මට අර මිනිහත් එක්ක යන්න දෙන්න බෑ.
අනේ! එක්කො ඕන එකක් කියලා මට මේ හැමදේම අම්මට කියලා තියන්න තිබුනෙ. දැන් අම්මා දන්නෙවත් නෑ එයා පුතා පුතා කිය කිය ආදරෙන් කතා කරන එකා මොන වගේ මනුස්සයෙක්ද කියලා."අම්මේ!!!"
ඇඟට පණ නැති වුනාට, කටට නම් යාන්තමට හරි පණ තියෙනවා.
බැරි මරගාතෙම දුවන්න ලෑස්ති වෙන ගමන් මං දිගටම කෑගැහුවෙ අම්මට මාව ඇහිලා එක පාරක් හැරිලා බලන්න කිය කිය දෙයියන්නට කන්නලව් කර කර.
ඒත් මගේ කරුමෙට වගේ කෑගැහිල්ල ඇහුනෙ අම්මට නෙමෙයි හොස්පිට්ල් එකේ ඇටෙන්ඩන් කෙනෙකුට."මෙන්න මිසී ඇඳ පහලවේ ලෙඩා පැනලා යන්න හදනවෝ!"
ඒ මිනිහා කෑගහගෙන මගේ පස්සෙන් එන්න ගත්තා. දැන් නම් හරි යන්නෑ තියෙන ඔක්කොම ශක්තිය එකතු කරගෙන හරි දුවන්න වෙනවා. මට පැනලා යන්න ඕන ඇති ල#බක් නෑ. මට ඕනෙ අම්මට පනිවිඩේ දීගන්න.ඒත් ඉතින් ලෙඩා දුකා වෙච්චි මං කොහොමද හොඳට ඉන්න එවුන් එක්ක දුවලා දිනන්නෙ. අර යකා මගේ ටීශර්ට් එකෙන් ඇදලා අල්ලගත්තා.
"අම්මේ!!!"
මං දිගටම කෑගැහුවෙ පුළුවන් වේගෙන් ඇඟ ගස්ස ගස්ස. අනේ දෙයියනේ අම්මට කරදරයක් වෙන්න දෙන්න බෑ.මට කොහෙන් ආපු හයියක්ද මන්දා කොහොම හරි මං ඇඹරිලා ඇඹරිලා අර මිනිහගෙ අත අයින් කරවගත්තා. මගේම කකුලට කැනියුලා එක තිබ්බ අතින් ලේ බින්දු වැක්කෙරෙනවා. කලිසම පුරාම ලේ. ටී ශර්ට් එකත් එහෙමම ඇති. මං නිකං මස් වැද්දෙක් වගේ අනිත් මිනිස්සුන්ට පේනවා ඇත්තෙ. ඒත් දැන් ඕවා හිතන්න වෙලාව නෙමෙයි. අම්මව හොයාගන්නයි මට ඕනෙ.
ගැලවිලා අඩි දෙක තුනයි ඒත් දුවාගන්න පුළුවන් වුනේ. මේ පාර මාව අල්ලගත්තෙ දෙතුන් දෙනෙක් එකතු වෙලා. දැන් නම් හෙල්ලෙන්නවත් බෑ. අනේ අම්මෙ මං මොකද කරන්නෙ?
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?