පහ

3.2K 429 31
                                    

බස් එකෙන් ඇදන් වැටිච්ච දවසෙ ඉඳන්ම අම්මට ඕන වුනේ මගේ කේන්දරේ බලවන්න. දැන් මට සනීප වුනාට පස්සෙ කනක් ඇහෙන්නම නැති තත්වෙට වැටිලා තිබුනෙ.
අම්මට කේන්දර බලන්නත් එහෙම ආවට ගියාට යන්න බෑ. ඒකට එයාගෙ මහගෙවල් පැත්තෙ වෙද මහත්තයෙක් හොයාගෙනම යන්න ඕන. මහ ගෙවල් ඉතින් අනුරාධපුරේ. අපි උන්නෙ මීගොඩ කිට්ටුව. දවසම ඉවරයි යන්න ගියාම. මොකෝ දඬුමොනර පහල වෙනවා කියලයැ අපිට. බස් හතර පහක බඩගාන්න වෙනවා. අනික මට ඕවා ගැන විශ්වාසෙකුත් නෑ. මිනිස්සු හදාගන්න බොරු මනස්ගාත.

නිවාඩු ගන්න බෑ කියකිය මගෑරලා දාපු එක මං කලේ. හැබැයි ඇත්තටම මට අම්මත් එක්ක යන්න තිබුනෙ කියලා පහුවෙන්න හිතුනා. එහෙනම් ඉස්සරහට වෙන හුඟාක් දේවල් වෙනස් වෙන්න තිබුනා. එහෙම වෙනස් කරන්න බැරි වුනත් අන්ධයෙක් ගොලුවෙක් වගේ නැතුව මට ප්‍රශ්න වලට හරියට මූණ දෙන්න හරි තිබුනා.

කතාවක් තියෙනවනෙ "පසු දැක්ම 100%යි" (hindsight is 100%) කියලා. ඒක ඇත්ත. දෙයක් සිද්ද වුනාට පස්සෙ අපිට මේක මෙහෙම කරන්න තිබුනා. අරක අරම කරන්න තිබුනා කියලා හිතෙනවා. බොරුවට දුක් වෙනවා. හැබැයි ඉතින් තේරුමක් නෑ. එකක් අපි හැමෝම ඒ වෙලාවට කරන්නෙ එවෙලෙට පේන්න තියෙන හොඳම දේ. පස්සෙ ඒකෙ ප්‍රතිපලේ මොකක් වුනත් තීරණේ ගන්න වෙලාවෙ තිබුනු හොඳම මාර්ගෙ තමයි අපි ගත්තෙ.
අනික සමහරවිට අපි වෙන තීරණයක් ගත්තා නම් වෙනම විදියක ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙන්නෙ පුළුවන්. අනාගතේ ගැන කිසිම හසරක් නොදැනනෙ අනුමාන කරලා ගන්න තීරණ ඕනම වෙලාවක හරියන්නත් වරදින්නත් පුළුවන්. ඒකට අපේ වරදක් කියන්න බෑ.

ඉතින් කොහොම හරි අම්මා මාත් එක්ක තරහා වෙලා හිටියෙ. ඒත් මං කිව්වෙ බොරුත් නෙමෙයි. එහෙම නිවාඩු ගන්න ලේසි නෑ. අන්තිමේ තනියම යන්න හැදුවෙ. මොනවා වුනත් ඒකට නම් මගේ හිත වාවන්නෙ නෑ. තාත්තත්  නැතුව ලේසියකට නෙමේ මාව උස්මහත් කලේ. අම්මට ඇත්තටම ඒ කාලෙම අනුරාධපුරේ ගියා නම් ජීවිතේ ලේසි වෙන්න තිබුනා. තමන්ගෙ කියන අය ලඟ පාත ඉද්දි හිතටත් හොඳයි. ඒත් එයා හිතුවෙ මං ගැන. කොළඹ කිට්ටුව ඉන්න එක මගේ අනාගතේට හොඳවෙයි කියලා එයා හිතුවෙ. පව්! මුළු ජීවිතේම කැපකලේ මං වෙනුවෙන්.

කඩුපුල් (Complete)Where stories live. Discover now