මට මහන්සියි. කම්මැලියි. ඇත්තටම ජීවිතේ එපා වෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. අලුත් දවසකට එලිවෙනවා එක්කම කරන්න දේවලුත් එකතු වෙනවා.
ඇඳ රෙද්දට තවත් ගුලි වෙලා විනාඩියක් හරි වැඩිපුර නිදාගන්න මං හිතුවෙ. ඒත් අම්මා අසනීපෙන් නිසා කෑම හදන්න වෙන්නෙ මට. මං තව පරක්කු වුනොත් එයා බැරි බැරි ගානෙ නැගිටලා කෑම හදයි.
ජීවිතේ කරුමයක් අප්පා!මං ඇඳෙන් බිමට පැන්නා.
මූණත් යාන්තම් හෝදගෙන කුස්සියට ගියේ එක එලවළුවක් එක්ක බිත්තරවත් හදනවා කියලා හිතාගෙන. සනීපෙට නිදාගන්න තියෙන වෙලේ කුස්සියෙ දුම් ගැහි ගැහී ඉන්න එක එපා වෙනවා දෙයියනේ.
බත් රයිස් කුකරෙකේ ගහලා අල ටිකක් සුද්ද කරන ගමන් කල්පනාවට වැටුනා.මගේ නම හිමාංශ්. හිමාංශ් මන්සිතු ඒකනායක. මට ඉන්නෙ මගෙ අම්මා විතරයි. තාත්තා ගැන හරි හමන් මතකයක් නැත්තෙ එයා මට අවුරුදු පහක් වෙද්දිම මේ ලෝකෙන් යන්නම ගිහින් තිබුනු නිසා. එදා ඉඳන් අම්මා වින්දෙ ලේසි පාසු දුකක් නෙමෙයි කියන්න මං හොඳටෝම දන්නවා. ගෙවල්වල වැඩට ගියා. කඩවල්වලට කෑම හැදුවා. වත්ත පුරා වගා කලා. ඉතින් ඒ නිසාම ඒ ලෙවල් හොඳට පාස් වුනත් කැම්පස් යන්න නොහිතා, මං ඒ ගමන්ම රස්සාවක් හොයාගත්තා. කරදඬු උස් වෙච්ච කොල්ලෙක් ගෙදර ඉද්දි අම්මට හයියක් වෙනවා මිසක්, තවත් බරක් වෙන්න බෑනෙ.
රිසාල්ස්, ඉංග්ලිශ් දෙකම හොඳ මට්ටමෙ තිබුනු නිසා බැංකුවකට යන්න තමයි මට ඕන කලේ. ඒත් අම්මා නිතරම අසනීප වෙන්න ගත්ත නිසා ඒක කරගන්න අමාරු උනා. මොකද හැම තැනිම්ම ආවෙ දුර පැති වලට යන්න. පලවෙනි පත්වීම අපිට ඕන තැනට ලැබෙන්නෙ නෑනෙ කොහොමත්. අන්තිමේ ටවුමෙ කඩේකට සෙට් වුනා. පඩි මදි. මගේ හැකියාවන්ට මදි තමයි. ඒත් අම්මව මේ තනියම තියන්න බැරි නිසා වෙන විසඳුමක් නෑ මට.
හැබැයි කොයි තරම් ප්රශ්න තිබුනත් මං ඉගෙන ගන්න එක අත් අරින්නෙ නෑ කියලා ලොකු අධිශ්ඨානෙක හිටියා. ගෙදර වියදම් පිරිමහගෙන පුළුවන් තරම් ඉතුරු කලේ අනාගතේ කොහොමහරි හදාගන්නවාමයි කියලා හිතාගෙන.
මගේ කම්මැලි බතත් උයාගෙන දවාලට එකකුත් බැඳගෙන, අන්තිමේ ගෙදරින් යාන්තම් වෙලාවට පිටත් වුනා. බස් එකේ සෙනග සූ ගාලා. මාත් අමාරුවෙන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගිහින් ටවුමෙන් බැස්සා. ඇඳුම් ගන්න දෙයක් නෑ. මහන්සිවෙලා අයන් කලාට කිසිම වැඩක් නෑ. කරන්ට් බිල වැඩි වෙනවා විතරයි. හිතුනොත් ලබන සතියෙ ඉඳන් ඇඳුම් කොට්ටෙ යට තියාගෙන නිදියනවා. ඒ ගානට මැදුනාම හොඳටම ඇති. කීයක් හරි වැඩිපුර ඉතුරු කරගන්න පුළුවන් මගේ හීනෙට යන්න.

BẠN ĐANG ĐỌC
කඩුපුල් (Complete)
Tiểu Thuyết Chungමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?