හතලිස් නවය

2.6K 343 17
                                    

මං පාර දිගේ කට්ට කරුවලේම ඇවිදගෙන ගියා. අහසෙ හඳවත් නෑ. ඒත් ඒ නිසාමද මන්දා තරු ලස්සනම ලස්සනට දිලිසෙනවා.
මං නැවතිලා ඒ තරු දිහා බලාගෙන හිටියා.

වැහිච්ච කාමරයක් ඇතුලෙ ඉඳන් කළුවරට අඳෝනා කිය කිය ඉන්නවා වගේ නෙමෙයි, මෙහෙම එලියට ඇවිත් අනන්තයක් ඈතින් දිලිසෙන අනන්තයකටත් වඩා මහගොඩක් තරු දිහා බලන් ඉද්දි හිතට සැනසීමයි.
මායි මගේ ප්‍රශ්නයි කොච්චර පොඩිද හිතෙනවා. ඈතම ඈත කොහේහරි තැනක ඉඳන් හැම තරුවක්ම මාත් එක්ක හිනා වෙනවා දැනෙනවා.

තේජාන්,
අමාවක අහසට තරු ඔක්කොම එකතු වෙලා පාළු මකනවා වගේ මගේ අන්දකාරෙට එලියක් වෙලා මගේ ලඟින් ඉන්න ඔයා කැමති නැද්ද? මේ ලක්ශ ගානක් තරු වලටත් වඩා මට එලියක් දැනෙන ඔයාගෙ ඔය හිතෙන් එකම එක අහක දාන එලිය බින්දුවක්වත් මගේ නමට වෙන් කරන්න බැරිද?

ටිකෙන් ටික මගේ හිත සන්සුන් වේගෙන යද්දි තේජාන් එක්ක තිබුන තරහත් නිවිලා ගියා. හෙමින් හෙමින් ඇවිදගෙන මං ආයෙමත් තේජාන්ව හොයාගෙන යන්න පටන් ගත්තා.

බෙහෙත් අහුරු පිටින් ගිලින මට ඒවා වලින් මේ වෙද්දි පුංචි පුංචි බලපෑම් තිබුනෙ නෑම නෙමෙයි. වෙනදට එක හුස්මට විනාඩි පහලවක් විස්සක් යද්දි යන ගමනට දැන් ඒ වගේ දෙගුනයක් වෙලාව යනවා. ඒත් කමක් නෑ. අඩුම ගානෙ අහසෙ තරු වලින් හරි මගේ තනිය මැකෙනවා.

අන්තිමේ තේජාන්ගෙ ගෙවල් හරියට එද්දි මට හොඳටම හති. එහෙන් දාඩිය ගලනවා.
එයාලගෙ ගේ පිටිපස්සට වෙන්න හදලා තිබ්බ ලිඳට කෙලිම්ම ගිහිල්ල පනින්න හිතුනෙ මට. ලිඳ ලඟින් බෝඩ් එකක් ගහන්න ඕනෙ හැබැයි පනින්න කලින්,
'තේජාන් නොහොත් මහසෝනාගේ අකටයුතුකම් දරාගනු නොහැකිව ලිඳක් තුලට වී දිවි ගෙවන අහිංසකයෙක්!' කියලා.

ඒත් ඉතින් ලිඳේ පැන්නෙ නෑ මං. මේ මහ රෑ බේරගන්න මොකෙක්වත් ආවෙ නැත්තම් ටයිටැනික් එකේ ජැක්ට වගේ ගිලිලා නෙමේ සීතලට මැරෙන්න වෙන්නෙ. ඒකට නම් ලඟ පාතක රෝස්වත් හිටියා. මට මොකාද ඉන්නෙ?
මට ඉන්නෙ මහසෝනා!

ඉතින් ඒකව ඇහැරෝගන්න මං ගිහිල්ලා හෙමීට ජනේලෙට තට්ටු කලා. දෙතුන් පාරක්ම තට්ටු කලත් කිසි සද්දයක් නැති වෙද්දි මං එහෙම්ම ජනේලෙට පිට දීලා වාඩි වුනේ, තේජාන් ගෙදර නැතුව වෙන්නැති කියලා හිතලා. එයා කීයට හරි එනකල් මං මෙතනම ඉන්නවා.

කඩුපුල් (Complete)Where stories live. Discover now