පනස් හත

2.3K 300 27
                                    

හිමාන් ගැන කිසිම ආරංචියක් නැතුව දවස් ගෙවුනා. මේ දවස් ටික තරම් මාව අසරණ කරපු කාලයක් මුළු ජීවිතේම තිබිලා නෑ. දැන් මං පිස්සෙක්.
සැරින් සැරේ හීනෙන් බය වෙලා හිමාන් කියාගෙන කෑගහලා ඇහැරෙන එක,
හිටපු ගමන් දරාගන්න බැරුව ඉකිගහ ගහ අඬන එක වාට්ටුවෙ හැමෝටම සාමාන්‍ය දෙයක් වේගෙන එන තරමට මං පිස්සු වැටිලා හිටියෙ.
හිමාන් උඹ කොහෙද රත්තරං?
උඹ නැතුව මේ මෝඩයා ජීවත් වෙන්න දන්නෙ නෑ!

තුශාරයි, සොනාලියි දෙන්නම හොයනවා කිව්වත් ඌ ගැන කිසිම ආරංචියක් නෑ. උන් දෙන්නා ඇත්තටම හොයනවද නැත්තම් බොරුවට රඟපානවද කියලා මං දන්නෙත් නෑ.
කොහොම හරි ආයෙ උන් මාව බලන්න ආවෙ එක පාරයි. එවෙලෙ මං දෙන්නටම බැනලා එලවගත්තෙ හිමාන්ව හොයාගත්තොත් මිසක් ආයෙම මගේ ඇස් මානෙකටවත් එන්න එපා කියලා. කොච්චර කොහොම කිව්වත් මට සොනාලිව සැකයි. ඇයි ඒකිටයි, තුශාරටයි විතරක් මේ වැඩේ කරන්න බැරි වුනේ? ඇයි මාව බේරගන්න නිකරුනේ කලබල වුනේ?
ඇයි කිසිම දෙයක් නොදන්න හිමාන්ව මේවට ගාවගත්තෙ? මං වරද්ද ගත්තා දෙයියනේ!
මගේ කොල්ලට මංම වල කැපුවා. ඒකගේ ජීවිතේ විනාස කලා.
අනේ! මගේ කොල්ලා!!

දැන් ඉතින් මාව බලන්න එන්න කිසිම කෙනෙක් නෑ. කිසිම කෙනෙකුගෙන් මට ඇති වැඩකුත් නෑ. මගේ හිමාන් හොඳින් ඉන්නවා නම් එච්චරමයි මට ඕනෙ.
අනේ රත්තරනේ ඉන්න තැනකින් මොකක්ම හරි හෝඩුවාවක් දියං මගෙ මැණික!

හැමදේටම වඩා භයානක, අරුන් හිමාන්ව ඇමට තියාගෙන ඉන්නවා නම් මේ වෙද්දි අපිට කතා කරන්න ඕනෙ එක.
ඒත් උන්ගෙන් කිසිම හෝඩුවාවක් නෑ. කොල්ලව ආසාවට දවස් ගනන් තියාගෙන ඉන්නවා වෙන්න බෑනෙ.
හිමාන් පැනලා ආවා නම් මාව හොයාගෙන කොහොම හරි එනවා. ඉර හඳටත් වඩා මට ඒක විශ්වාසයි. එතකොට ඒකා ආවෙත් නෑ, අරුන්ගෙන් කතාවකුත් නෑ කියන්නෙ හැමදේම ඉවරයිද? උන් දස වද දීලා මගේ එකාව විනාස කරලා දාලාද?  මගේ කොල්ලා මාව දාලා යන්නම ගිහින්ද දෙයියනේ?

අනේ!
මෙච්චර ලොකු දඬුවමක් මට එපා.
මාව පණ පිටින්ම මෙහෙම මරලා දාන්න එපා. මගේ ජීවිතේ අරන් හරි මගේ කොල්ලව බේරලා දෙන්න කිසිම කෙනෙක් නැද්ද?!

කඩුපුල් (Complete)Where stories live. Discover now