40

608 65 4
                                    

#හිරිකඩක්_40

"ධූර්යා!?"

ඔහු දෙතොලතරින් මිමුණුනේ ඉබේටමය. ඔහුට ඇයගේ මුහුණ පෙනුණේ නැතිය. නමුදු පසුපසින් පෙනුණ අංග ලක්ෂණ සියල්ලම පාහේ ධූර්යාට අතිශයින් සමාන වූ නිසා නුඝාද් ඉදිරියට පියවර ඇහන්දේ ගමන් මල්ලද එම ස්ථානයේම අතහැර දමාය.

ලා දුඹුරු පැහැ තෙලෙලු සම, උරහිස් දක්වා තිබු වරලස, ශරීර ප්‍රමාණය ඇයගේ මෙන්මය. හිත කීවේම ඒ ධූර්යා වග වද්දී නුඝාද් පාරෙහි එක් පස මං තීරුවක් පැනගත්තේ අසීරුවෙන්ය.

"ශි..ට්"

නමුදු අනෙක් පස මං තීරුවේ වාහන අධික වේගයෙන් එහා මෙහා වූ නිසාවෙන් ඔහුට මැද මිනිත්තුවක් දෙකක් රැඳී සිටිමට සිදුවූයේ අවාසනාවන්ත අයුරින්ය. දරුවා නොසිටියානම් ඔහුට අවදානමක් ගන්නට තිබුණි. නමුදු දරුවා සමඟ හිඳිනා කල නුඝාද් අඩියක් තබන්නේත් ප්‍රවේශමෙන්ය.

කෙසේ හෝ අනෙක් මං තීරුව හරහා ගොස් නුඝාද් දිව ගියේ මොහොතකට පෙර තමා දුටු ඇය පියමන්කළ අතුරු මාර්ගය ඔස්සේය. කෙසේ හෝ දිවගොස් ඇයව අල්වාගැනීමට නුඝාද්ට හැකි විය.

"ධූර්යා..."

හතිය නොතකා ලුහුබැඳගොස් නුඝාද් තමාට පිටුපා ඇවිදින ඇයගේ උරහිසක් මත අත තැබූයේ හදවත වේගයෙන්ම ස්පන්දනය වන වගක් ඔහුට දැනෙද්දීය. නමුදු රැළිවූ දෙබැමක් සමඟ හැරී බැලූ ඇය ධූර්යා නොව ඇය මෙන් වෙනත් තරුණියක් වග පෙන්ද්දී නුඝාද්ට දැනුණේ බලාපොරොත්තු දෙපා මුල විසිරී ගිය වගක්ය.

"Excuse me, Do I know you?"
(මම ඔයාව දන්නවද?)

නුඝාද් දෙසත් දරුවා දෙසත් හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළූ නන්නාඳුනන තරුණිය විමසූයේ ගල්ගැසීගෙන මෙන් හුන් නුඝාද් පියවි සිහියට පැමිණෙද්දීය.

"Sorry. I've mistaken for somebody else..."
(සමාවෙන්න. වෙන කෙනෙක් කියලා හිතුවේ.)

හුස්මක් හෙළා පිළිතුරක් දුන් නුඝාද් ආපිට හැරුණේ බරවූ හදින්ය. කෙතරම් ඇයට වෛර කරනා බව සිතට පසක් කරලන්නට උත්සහ කළද මෙවන් කුඩා සිදුවීම් වලින් පවා සිත බිඳී යන හේතුව ඔහුට වටහාගන්නේ නැතිය. ඔහු සිතන්නේ තමාට ඒ පසුතැවීම දැනෙන්නේ හුදෙක් තම දරුවාට ඇයගේ මව අහිමිවීමට තමා වගකිවයුතුබැවින් කියාය. නමුදු එය කෙලෙසකවත් ඒ නිසාවෙන් හටගන්නා පසුතැවීමක් පමණක්නම් නොවේය.

හිරිකඩක්Where stories live. Discover now