"අගුලත් දාහන්!"
මයෙ ඇදේ දිගාවෙලා උන්න ගප්පියා එහෙම කීවම මං ආයේම හැරිලා අගුලත් දැම්මා.ම්ම්ම්.....වැදගත් කතාවක් කියන්ඩ වාගේ යන්නේ.
මං ලාම්පුවේ එළිය වැඩි කළේ මූ මෙහෙම එන දාට රෑට නිදාගන්න වෙන්නේ නැති හන්දා.
"ඕක නිවහන්! නින්ද යන්නෑ මට"
ලාම්පුවේ එළිය අඩු කරාපු මං ගප්පියා ගාවින් ඇලවෙලා එක අතක් වැලමිටෙන් නවාන ඒක උඩින් ඔලුව තියං මයෙ කොට්ටේ ගප්පියට දුන්නා.
හවහ නිදාගත්තු හන්දද මන්දා නින්ද අහලකවත් නෑ.මං ගප්පියා දිහාව බැලුවේ නිදිද බලන්ඩ.
"යකෝ! ඇස් පියාගනින්! මිනිස්සු නිදාගන්නෙ ඇස් දෙක පියාගෙන."
ගප්පියා විරිත්තල හිනා උනා.නිදන් උන්න ගප්පියෙක් බලන්න හිතාගෙන ඌ දිහාව බලාපු හන්දාද මන්දා ඇස් ඇරන් ඉන්නවා දැක්කාම හිත ගැස්සුණා.
"අමාරුද ආයෙම?"
"නෑ"
කොට්ටේ අරන් මයෙ ඔලුව උස්සලා යටින් තියාපු ගප්පියා මයෙ නලලට පිටි අල්ල තියලා බැලුවා.
"උණක් නම් නෑ."
මයෙ අතක් අරන් ඌ ඒක උඩින් ඔලුව තියාගත්තා.රැළි කොන්ඩේ උගේ මූණට වැටිච්ච හන්දා මං නිදහස් අතින් කොන්ඩේ පස්සට කරා.
මේක ටිකක් අඩු කරන්න ඕනි මූට කරදරයි මෙහෙම. දාඩිය දානවා ඔළුවට .ඊලඟට කසන්න ගනීවි.
මං නිදහස් අත අරන් ආයෙම වැලමිටෙන් නවලා ඔලුව යටින් තියාගත්තා.මූ තාමත් මං දිහාම බලා ඉන්නවා.අමුතුයි වාගේ දැනුන හන්දා මං ඇද වියන දිහාව බලා ගත්තා.
මං අහක බලා ගත්තු පාර ගප්පියා පොරෝන රෙද්ද අරන් අපි දෙන්නම වැහෙන්න දාලා ආයෙම මයෙ අත උඩින් හාන්සි වෙලා ඇස් පියා ගත්තා.
පාන්දර ජාමේ විතර මයෙ ඇස් පිය උනත් කුස්සියේ සද්ද බද්ද වලට ඇහැරුනා.
මයෙ බඩ පොත්ත උඩ එක කකුලක්.අනිත් කකුල මයෙ කොන්ද අස්සේ.අතකින් මයෙ අත් ගොබයක් බදාන්.අනිත් අතින් බෙල්ල හිර කරලා.මයෙ උරපත්තට ඔලුව ගහන් පුපත් උඩ දාන කෙළත් පෙරාන් මිනිහා බුදි.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)