මං උන්නේ සුදු හාවෙක් තුරුළු කරාන ඉන්න මයෙ නගාව සිත්තමක හිර කරන ගමන්.එක විදිහකට ඉන්න බෑ නලියනවා.
"අයියන්ඩි මයෙ මූණේ මේ පැත්තද හැඩ? නැත්තම් අනිම් පැත්තද?"
"දෙපැත්තම ලස්සනයි"
ඒ පාර පැත්තකට හරවන් උන්න මූණ කෙලින් හරවා ගත්තා.මෙහෙම සක බඹරෙ වගේ කැරකෙද්දි පුළුවන්ද කිහාන්කෝ.
"අයියන්ඩි මං වල පේන්න හිනා වෙන්නෙයි?"
"ම්ම්ම්.."
"දත් ටික පේන්නම හිනා වෙන්ඩද?"
මං ඔලුවෙ අත ගහගත්තා.
"අයියන්ඩි!"
"ම්ම්ම්?"
"සූරිය බණ්ඩාර!!!"
මේ අනිත් එක්කෙනා.මුන් දෙන්නටම කතා කරනවනම් අපි උන්ගේ මූණ දිහා බලා ඉන්ට ඕනි.දෙකම එකයි.සිත්තම් ගැබරට ගිලිලා උන්න මං ඔලුව ඉස්සුවා.
"මට උබට කියන්ඩ දෙයක් තියේ"
"අර මොකද්ද?"
" මට පෙම් හිතක් පහල වෙලා"
"එහෙම හොඳ නෑනේ.මං උඹේ අයියන්ඩිනේ"
"එක බිජේ දෙකඩ කරන් ආපු එකා එක්ක මොන පෙම් හිත් ද!"
"එහෙනන්?"
"ගප්පියා ගැන"
නගා අතේ උන්න සුදු හාවායෙ තෙත නාහෙට නාහේ ගාවන ගමන් වල ගැහෙන්න හිනා උනා.දෑගිලි වලින් පින්සල ලෙස්සද්දි රතු පාට පින්සල් පාරක් සිත්තම මැදින් ඇදිලා ගියා
වෙව්ලන අත් දෙක එකට තද කරන ගමන් මං නගා දිහා බැලුවම නගා අතේ උන්න සුදු හාවායෙ බෙල්ල කඩා වැටුණේ මැරුණා කියලා අඟවන්න වාගේ.රත් පැහැ ඉර පින්තාරුව පුරා පැතිරෙද්දි සර්ව සිත්තම රත් පැහැ උනා.
බයෙන් පස්සට විසි උන පාර පින්තාරුවේ ලී රාමුවට පයින් පාරක් වදිද්දි සිත්තම ඈතට විසික් උනා.මුළු පරිසරෙම රතට හුරු අදුරු පාටක් ගනිද්දි නගා මරහඬ තිව්වා.
"අයියන්ඩි!!!!"
ඇස් අරිද්දි මං උන්නේ මයෙ වියන් ඇදේ.මං හීනෙන් දගලාපු හන්දාද මන්දා ගප්පියා මාව තව ඩිංගක් තද කරලා බදාගෙන පොඩි එව්වෝ නිදි කරද්දි වාගේ පිටට තට්ටු දාන්න ගත්තා.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)