අපි කට්ටියම තැන් තැන්වලට වෙලා හිටියත් කවුරුවත්ම මුකුත් කතාකරේ නෑ. සැරින් සැරේට නහයවල් උඩට අදින සද්දෙයි හූල්ලන සද්දෙයි එයාර්පෝර්ට් එකට ආපු අනිත් මිනිස්සුන්ගේ සද්දෙයි ඇරුනම වෙන කිසිදෙයක් තිබ්බේ නෑ. ටිකෙන් ටික වෙලාව ගිහින් අපේ ෆ්ලයිට් එකට වෙලාව ළංවුණා. අකේෂී මගේ දිහා බැලුවේ අපි තව ටිකකින් ඇතුළට යන්න ඹ්න නිසා. එහෙනම් මං මේ අවුරුදු ගාණටම මගේ ළඟ හිටපු අයගෙන් ඈත්වෙලා යන වෙලාවත් ළංවුණා. මං අම්මි ළඟට ගිහින් දණගහලම ආයේ වැන්දා. අම්මි මහා හයියෙන් අඬාගෙන මාව තුරුල්කරගත්තත් ආච්චි අම්මිව එයාගේ උරහිසට බරකරගත්තේ මට ගොඩක් වෙලා නැති නිසා. මං අම්මිගේ මූණ අතගාගෙනම සීයාප්පච්චිට ආච්චිට බිසෝඅම්මට නාරංසීයට නැන්දිට යසස් අයියට ජයවීර අංකල්ට මිශ්රා ආන්ටිට අයියට වැන්දා. වැදලා සදුයි තරුයි දිහා බැලුවා. මං බලන පරක්කුවට දෙන්නා වේගෙන් දුවලා ඇවිත් මට තුරුල්වුණා. නිකම්ම නෙමෙයි එයාර්පෝර්ට් එකම දෙදරන්න අඬාගෙන. මං දෙන්නගෙම හිස් මුදුන ඉම්ඹා.
“දෙන්නම පරිස්සමෙන් ඉදපං මේ අවුරුදු තුන. මතක තියාගනින් දෙයියන්ගේ නාමෙට උඹලව බේරගන්න මම නෑ අවුරුදු තුනකට. ස්පෙෂලි චුක්කි උඹ. බයික් එකේ ගිහින් බෙල්ල නම් කඩා ගන්න එපා..”
දෙන්නම කතාකරේ ඔලුවෙන්. දෙන්නම ඉකිගහන හින්දා මං එයාලගෙන් වචන බලාපොරොත්තු වුනෙත් නෑ. ඒ දෙන්නගෙන් ඈත්වෙලා මං බැලුවේ කෝ තාත්ති කියලා. අපිට ටිකක් ඈතින් තිබ්බ ඇලුමෙක්ස් බංකුවක තාත්ති වාඩිවෙලා හිටියේ අපිට පිටුපාලා. හිත රිදුනත් මං තාත්ති ළඟට ගියේ තව අවුරුදු තුනකට මං නැති නිසා. මං හෙමිහිට පිටිපස්සෙන් ගිහින් තාත්තිගේ උරහිසට අතක් තිබ්බා.
“තාත්ති මං යන්න කියලා.”
මං යනවා කිව්වත් තාත්ති මගේ පැත්තට හැරුනේ නෑ. මගේ මුළු හිතම කඩාගෙන වැටෙද්දි මං තාත්ති දිහා බැලුවා. ඒත් තාත්ති අහක බලන් හිටියා මිසක් මං දිහා බැලුවේ නෑ. ඇයි තාත්ති ඔයා මාව මෙච්චර හලන්නේ. හිතේ දුකෙන්ම මං යන්න හැරෙද්දි තාත්ති වේගෙන් නැගිටලා මට හුස්ම ගන්නවත් බැරිතරමට තදකරලා මාව තුරුල් කරගත්තා. එයා මාව තුරුල් කරගත්තා විතරක් නෙමෙයි අම්මිවත් පරද්දන ගමන් මහා හයියෙන් එයාර්පෝර්ට් එක දෙවනත් වෙන්න කෑගගහා ඇඬුවා. එහාට මෙහෙට ගිහිපු මිනිස්සුත් තාත්තියි මායි දිහා බල බල ගියේ හරි දුක හිතෙන විදියට. අම්මලගේ කදුළු ඉස්සරහා මං ඇඩුවේ නැති වුණත් තාත්තිගේ මේ වේදනාව ඉස්සරහා මටත් ඇඬුනා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Akčníවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰