පාළු සීතලක් ඇගට දැනෙද්දි ඇගම හිරිවැටිලා යද්දි මම හිටියෙ උඩුපුස්සැල්ලාවේ චූටි නැන්දලාගෙ ගෙදර. හැමදාම වගෙ චූටි වේවැල් පුටුවේ හිරවෙලා කළුම කළු කෝපි එකක් බොන ගමන් ඈත කදු වලල්ල වැහිලා තිබ්බ මීදුම් පටලේ දිහා බලන් හිටියෙ. මගෙ ගාව තිබ්බ පොඩි ඩයරි එකෙ ලස්සන මායම් කතා දාලා හිතුන දේ ලිව්වා. උණූවේ දුම දාන කෝපි එකෙන් මගෙ ඇස් ඇරෙද්දි දැනටම මහ පාන්දර වෙලා.
"ඕහො... මෙන්න අදත් මෙයා මෙහෙ..." වට්ටි අම්මා වගෙ සමනලී ඉණටත් අත තියන් එනවා මගෙ ලගට.
"මොකො පාළුද මගෙ හස්බන්ඩ් නැතුව."
"දැන් ලොකුයි නේද? ඔය හස්බන්ඩ් නොකියා ඉන්නවා..."
"හස්බන්ඩ්ට හස්බන්ඩ් නොකියා මොකක් කියන්නද මෝඩ අයියෙ..."
"වට්ටි අම්මා..."
"අනේ ඉතින්... මම නොහිටින්න ඔයා ගස් ගල් එක්කම කතා කර කර ඉන්නවනේ කොහොමත්."
"ගස් ගල් හොදයි... හුම්ම්ම්"
"මේ බලහල්ලකෝ මෙයාගෙ හුරතලේ" පොඩි එකි මගෙ කෝෆි කෝප්පෙන් බොන්න හදලා නැවතුනා.
"මොකෝ... නැවතුනේ."
"ඕවායෙන් බොන්න අපිට අකපැයිනෙ අණ්නේ... අර සනා කොල්ලා විතරනෙ ඕවා බෙදාගන්න එකම එකා."
"එහෙම නෑ. ඌට දෙන්නෙත් නෑ."
"විකාරයක්." මම ඉදන් හිටිය තැනම ගල් පඩියෙ කෙල්ල ගවුම උස්සලා ඉදගත්තා.
"හේ... දෝණි දැන් පොඩි නෑ හොදේ... ඔහොම පිරිමි ඉන්න තැන හැසිරෙන්න එපා."
"පිරිමි ඉන්න තැන මම ඩීසන්"
"මම පිරිමියෙක් නෙවේද ආ" කේන්ති ගිහින්ම මම අහද්දි.
"ඔයා පිරිමියෙක්... ඒ වගෙම පරිපූර්ණ පිරිමියෙක්. මට ඔයා පලිහක්... ඔයා ඉන්නකල් මට කාටවත් මුකුත් කරන්න දෙන්නෙ නෑ... පණ්ඩිත අන්නා..." වර්ණනා කර කර බනින එක මේ පැහිච්ච ආච්චිගෙ පුරුද්දක්.
"පාළුයි නේද? ඔහේ කියව කියව රවුම් ගහන එකා නැතුව ඔයා මෙතන තනියම පොත් ලියද්දි..." මම මගෙ අතේ තිබ්බ කෝපි එක කෙල්ලට දිග් කරා.
"මේ මොකො..."
"ඔයාගෙ සනා මහත්තයා කොහෙ හිටියත් වටේම ඉන්න මිනිස්සුන්ට සතුට බෙද බෙද ඇති."