දැන් නම් සිකුරුයි... මගෙ සිකුරා 7 වෙන්න ඕනේ. රෑ පුරාම මහන්සියට නිදාගෙන මම උදේම නැගිට්ටේ බෝධි පූජාවකට යන්න කලින්. තදයා වගෙ ගිහින් රෙසික්නේශන් ඊයෙ දුන්නෙ මොකා ආරූඪ වෙලාද කියලා තාමත් මට හිතාගන්න බෑ. මොනවා වුනත් උණ විකාරෙන් ඒ කිව්ව දේවල් ගැම්මක් තමයි.
"ටෂි... ආ මෙන්න නැගිටලා.."
"මොනවද ඔය..."
"ආ මේ බෙහෙත් වට්ටෝරුවක්."
"මොකක්..."
"ඔව්....බෙහෙත් වට්ටෝරුවක්."
"මොකටද මට..."
"ඇයි දැන් සනා කිව්වේ ඇගෙ අමාරුවක් තිබ්බා, හොදටම උණත් කියලා." අරුගේ ආච්චිට මම... ඕකා ඔහොමමයි...
"මට එපා.."
"එපා වෙන්නෙ කොහොමද? ඊයෙ ගෙදර ආවෙත් අරුගෙ කර උඩින්. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි සනාටම තමුසෙ අසනීප වුනාම සාත්තු කරන්න වෙන්නෙ කියලා."
"මම ඌට කිව්වේ නෑ." අනික් එක ඌ සාත්තුවට පැන්නෙ මගෙ ළඟ හිටිය.
"මොනවද කල්පනා කරන්නෙ."
"ඌගෙන් ඈත් වෙලා ඇග බේරගන්න ඕනේ කියලා."
"හරි හරි ඈත් වෙන්න කොහොමත් වෙනවනෙ. මෙන්න මේක බොනවා."
"අනේ දැන් හොදයි දෝණි."
"නෑ නෑ... මට සනා කිව්වේ එන වේලාවෙත් මහන්සි කියලා අනික් පැත්ත හැරිලා නිදාගත්තා කියලා."
"හරි හරි දෙනවකො." උදේ පාන්දරම තේ එකක්වත් නැතුව මෙහෙම කසායක් බොන්න වෙනකොට අමුතු ජවයක් තමයි ඇග ඇතුලෙන් ජනිත වෙන්නෙ. අම්මටහුඩු අමුම අමු තිත්ත රසයි යකො. දවසෙම කටට බුදුසරණයි ඉතින්. මගෙ වේලාව නම් ලෙසටම චොරයි මේ ටිකෙ.
"මේ මේකෙ තව තියෙනවා."
"කොච්චර බිව්වත් එකම ගුණේ දෝණි එන්නෙ."
"නෑ නෑ සනා කිව්වා තමුසෙගෙ ඇගෙ කුලප්පුවට මේ සේරම උනනවා කියලා."
"ඌගෙ අම්මට මම..."
"මොනවා කරන්නද මැටි ගොඩ..." දෝණි මාව තුරුල් කරගත්තා. ඒත් ඇයි ඒ...
"මොකො මේ..."
"අසනීප වෙන්න එපා... මට ඉන්නෙ ඔයා විතරනෙ..." මගෙ පිට අත ගාන ගමන් දෝණි එහෙම කියනකොට මම එයාව තුරුල් කරගත්තා. පොඩි කාලේ මම එයාව අත් දෙකම දාලත් තුරුල් කරගන්න බැරි වුනත් දැන් දෝණි මට වඩා ගොඩක් පොඩි.