විහාධීෂ 15

1K 227 41
                                    

විහා_ධීෂ

හඬමින් අතීත මතක වල නිමග්නව කොපමණ හෝරා ගණනක් ගතවූයේ දැයි විහාධ්‍ය කුමරු නොදනී... මෙහි ආ කල්හි ආකාසයට අරක්ගෙන හුන් සූර්‍යයා වෙනුවට සෞම්‍ය චන්ද්‍රයා අවුත් සිය රශ්මි දහරා පතුරුවන්නට ඇරඹූයේ කවර විටෙකදැයි කියාද ඔහු නොදනී... වරින්වර නැගෙන සිහින් ඉකියක් හැරෙන්නට සුධිරාවගේ හැඬීම දැන් නම් බොහෝ දුරට අඩු වී ඇති සේයි... විහාධ්‍ය කුමරුන්ගේ සිහියද මදක් යථා තත්වයට පත්ව ස්වල්ප වේලාවක් ගත වී තිබුණි...

සුධිරා හේෂව වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටින වග ඔහු දැන සිටියේ නැත... ඔහු සිතා සිටියේ ඈ එසේ කුලුපඟ ලෙස හැසිරුණේ කුඩාකල පටන් වූ සහෝදර ප්‍රේමයක් නිසා වගයි... ඉදින් එවර නම් සොයුරෙකු ලෙසට ඔහු අසමත් වී තිබුණි... ඉදින් සුධිරාව අත කිසිදු වරදක් නොමැතිය... හේෂව තමා හට කවරෙක් දැයි ඈ කිසිලෙසකින් හෝ නොදන්නීය... ඉදින් තමා සිතුවාක් මෙන් ඔහු තමාගේ මිතුරකු වග පමණක් ඈ සිතන්නට ඇත... තවමත් එසේ සිතා සිටිනවා වියහැක...

විහාධ්‍ය කුමරු සිය නැගෙණියට සැබැවින්ම බොහෝ සෙනෙහස දැක්වූයේය... නමුදු මෙවර, තමා වදනකින් හෝ නොරිදවූ නැගණියට  ඇගේ මුව'ග පුපුරා රුධිරය ගලන්නට තරම් වියරුවෙන් අතුල්පහරක් ගැසුවේය...  මෙතෙක් නොදැණුනු ඒ වේදනාවද ඔහුට දැනෙන්නට ගෙන එතරම් වේලා ගතනොවුණි...

තමා සිය නැගණියව දුටුයේ හේෂව මරා දැමීමට පැමිණි අයෙකු ලෙසය... නමුදු ඒ ඈ නොව තමා වග වටහා ගැනීමට ඔහුට තම පියවි සිහිය නැවත හිමිවන තුරුම සිටීමට සිදුවිය...

ඉදින් සුධිරාගේ පසින් ඈ තමා දකිනුයේ ඈ ප්‍රේම කෙරූ පුද්ගලයාගේ දිවි අහිමි කරන්නට තැත් කළ අයෙකු ලෙස වග ඔහුට නොඅනුමානය... ඒ පමණක් නොව තමා ඔහු කුලහීන වග පවසා නිගා කළ අයුරු...!! ඉදින් මේ සියල්ලටම එකම හේතුව තමා නොවේද??... තම වියරු කෝපය නොවේද??

විහාධ්‍ය කුමරු හුන් තැනින් සෙමින් නැගිට ගොස් සුධිරාවගේ පසෙකින් හිඳගත්තේය... ඈ නොවේ හිස ඔසවා හෝ ඔහු දෙස බැලූයේ... පෙර කිසිදිනක නොවූ සිය නැගනියගේ ස්වරූපය ඔහුව තවත් වේදනාවට පත් කළේය... ඈ තමාව පිළිකුල් කරනා සේයි... වරක් කෝප ගත්තා කියා කෙනෙකුට තමා සතු සියල්ලම එකවර අහිමි විය හැකිද...?? නමුදු දැන් සිදුකළ හැකි කිසිවක් නොවේ... සියල්ලම තමාගේ වරදයි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now