විහාධීෂ 48

517 120 38
                                    

විහා_ධීෂ

"අර අර බලනු...!!"

"විශ්වාසද ඈ කියා...?"

"ඈ තමා...!!!"

"කුමක් හෝ තිබෙනවා ඈ සතුව..!"

"එසේයි එසේයි..!"

"කොහිද ඈ යනුයේ...?"

"අර අර දුටුවාද..?"

"සෙරක් සේයි...!!"

"එසේ තමා..!"

"ඈ අපව රැගෙන යයි...!!!"

"හා හා කලබල නොකරනු...!!
ඈට ඇසෙයි...! ප්‍රවේශමෙන්...!!!"

සිව මැදුරට පා නොතබන බැව් තරයේ පවසා සිටියද, හෝරා කිහිපයක් ගතවන්නට මත්තෙන් දුන් වදන් ආපසුගන්නට සිදුවිය... සියල්ලෝම දැන් හිඳින්නේ සිව මැදුරේ ප්‍රාකාරයේ පසුපස ද්වාරය පෙනෙන මානයේ සැඟවීය...   භද්‍ර කුමරු හට අලුයම ලැබුණු විශ්වාසදායී තොරතුරකට අනුව දැන් දින ගණනාවක් පුරාවට අලුයම සතරේ හෝරාවට පමණ කාල වර්ණ සළු හැඳගත් ස්ත්‍රියක් පුරුද්දක් ලෙස පසුපස කුඩා ද්වාරයෙන් පිටව යන්නීය... ඉදින් ඔහු ගොස් අනෙක් තිදෙනාද සමග විත් එහි සැඟව විපරමින් බලාසිටියේය... මැදුරේ පසුපස ද්වාරය විවෘත වන ලැහැබට වැටෙන යන්තම් පෑදී ඇති අඩිපාරක් තිබේ... සිව්දෙනාම පවුර පෙනෙන දුරින් අඩිපාර අසළ වූ ගසක් මත නැග අතු අතර සැඟව එවෙත නෙත්යොමා සිටියහ...

සිතූ පරිදිම පෙර කියූ වේලාව ආසන්න වන විට කවරෙක් හෝ මැදුරේ පසුපස ද්වාරයෙන් පිටතට එන වගක් පෙණුනි... ද්වාරය විවරවද්දීම පන්දම් අතැතිව හුන් ද්වාරාරක්ෂකයෝ මග දෙපස දෙපෙළට සිටගත්හ... නමුදු ගැටලුව වූයේ ඔවුන්ගෙන් ඈට කිසිදු විරෝධයක් නොවීමයි... ඈ කිසිදු පැකිළීමකින් තොරව එහි හිඳි ආරක්ෂකයෙන් පසු කොට අඩිපාර වෙතට පැමිණියාය... හිසේ සිට පාදාන්තය දක්වාම කාල වර්ණ සලු පිළි වලින් වැසී තිබෙනු පවුරේ සිට සැලකිය යුතු තරම් දුරකට විහිදෙන පන්දම් ආලෝකයෙන් පෙනේ... මුහුණ නොපෙනෙන පරිදි ආවරණය කරගෙනය... ඈ සුරතේ රෙදිකඩක එතූ කුමක් හෝ යමකි... වමතේ මලානික ආලෝකයක් විහිදුවන කුඩා පන්දමකි... ඈ පැමිණෙනු දුටු වහාම සිව් දෙනාම ඒ වෙත බලාගෙන රහස් සාකච්ඡාවකය... ඉදින් හඬක් නොනැගෙන නිසාවෙන් කතා කරනුයේ කවරෙක්ද කියා දන්නේ නැත... කෑලි කැපියහැකි ඝන අඳුරේ කවරෙක්ද කියා පෙනෙන්නේද නැත... පවුර දෙසින් පැමිණෙන අරුම පුදුම ස්ත්‍රිය ඔවුන්ගේ තරහවද මොහොතකට අමතක කරවා ඇති හැඩයි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora