විහාධීෂ 54

436 116 36
                                    

විහා_ධීෂ

රණ භූමියක ඇසෙන රණ සක් හඬක් නම් නොවේ එහි වූයේ... සිය රජු ඝාතනය කිරිමට උත්සුක වූ රජුගේම සෙබලුන්ගේ මුවින් පිටවන රහස් විධානයයි... හමුවී තිබෙන හා  නුදුරේදී හිමිවන්නාවූ, විශේෂ  වරප්‍රසාද හා තුටු පඬුරු වල වටිනාකම අනුව සිය ප්‍රධානියා කවරෙක් විය යුතුද කියා තෝරාගත් සහෘද සේනාව දෙපිළකට බෙදී, එකිනෙකා මරා ගනිමින් සටන් වැදෙන්නට විය... තණ්හාවේ මූලාංකුරය දළුලා වැඩුණු කල ස්වකීයයන්ද අමතක වන ලෝකයක, තමා හා අඹු දරුවන් හට හට මෙතෙක් කල් තාන්න මාන්න, ධන ධාන්‍යාදිය හා ගරු නම්බු නාම ලබා දුන් රජු නම් ඉදින් තකන්නට තරම් දෙයකුත් නොවේ...!! නුදුරු අනාගතයේදී ඒ සියල්ලටම වඩා අගනා දෑ ඔවුන්ට හිමිවන බවට ලැබුණු ප්‍රතිඥා පෙරටු කොටගෙන රාජකීය උද්‍යානයේ රුහිරු සමුද්‍රයක් තනන්නට විය...

පලින් පල විසි වී තිබුණු කවන්ධයන් හා සෙබලුන්ගේ හිස්, හී කිහිපයක්ම පසාරු කොටගෙන ගොස් මුව හා දෑස් විවර වී තිබූ මළ සිරුරු, හස්තීන්ගේ විසල් පාද වලට යටවී තැලී පොඩිවී ගිය එකදු අස්ථියක් හෝ සොයාගත නොහැකි මාංශ ගොඩවල්, කඟ පහර කිහිපයක මුවහත සිඹ, තවමත් උණුහුම් රුහිරු වගුරවන්නට වූ මළ හා තවමත් ප්‍රාණ නළ අයදිමින් පලින් පල වැටී හිඳිනා සෙබලුන්... මෙහි වූයේ රජුගේ සෙබලුන් පමණක් නොවේ... රජුට විරුද්ධ වී වැඩි සැලකුම් සොයාගිය පිරිසද එහි සම සමව විය...  මිලෝථගේ සේනාව නම් මේ කිසිවක් දුටු බවක් පෙනෙන්නට නොවුණි... දිය බිඳක් අයදිමින් මරණාසන්නව වැටී හිඳිනා සහෘදයෙකු දෙස බැලීමට හෝ ඒ එකෙකු වත් ඉදිරිපත් නොවුණි... ඉදින් එහි අරුමයක්ද නැත...! සුනීද්ව රජු මිහිලාද්වීපය එක්සේසත් කිරීමේදී ඔහු හා එක්ව යුධයට ගිය පිරිසෙන් අඩක් පමණ මෙහි හිඳි බැව් නොරහසකි... ඉදින් එහි වූ සියල්ලෝම කැබලි වලට කැඩී මිය ගියද, සටන් වැදීම බඩ වියත රැකගන්නා ජීවිකාව කරගත් ඔවුන් හට ඉන් වේදනාවක් දැනෙන්නේ කෙසේද...???

කුමරුන් සිව් දෙනා සිව් තැනකය... ඔවුන්ගේ සැලැස්ම සහමුලින්ම කණපිට හැරී තිබුණි... සම්භාෂණ ශාලාවේ හුන් රජු හා කුලවතුන්  ආරක්ෂා කරගැනීම උදෙසා විනා, දෙසේනාවන් එකට ඇවිලෙද්දී සටනට බැසීමට සැලසුම් කොට තිබුණේ නැත... නමුදු හදිසියේ වූ සිදුවීමත් සමග රජුගේ සේනාව එහි සටනට නොපැමිණි කල, දෙවරක් නොසිතා සටනට යාමට ඔවුන්ට සිදුවිය...  ඉදින් ලෝහ සන්නාහ හෝ වෙනත් ශරීරාරක්ෂක ආවරණ කිසිවක් පැළඳ ගැනීමට තරම් ඉඩ ප්‍රස්තාවක් ඔවුන් හට ලැබුණේ නැත... සැකෙවින් කිවහොත්, ඔවුන් නම් ප්‍රිය සම්භාෂණයට සැරසී ආ අයුරින්මය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now