විහාධීෂ 26

979 190 49
                                    


විහා_ධීෂ

පියගැටපෙල පාමුල වූ උමග බොහෝ සෙයින් අදුරු වූවක් විය... ඉදින් වසර ගණනාවක් තිස්සේ වසාදමා තිබෙන උමගකට කෙසේ නම් ආලෝකය ලබා ගන්නද...?? විහාධ්‍ය කුමරු ප්‍රතිමාව තිබූ ස්ථානයේ බිත්තියක තිබී ගලවාදුන් ලෝහමය කොපුවක් සහිත පන්දම නිසාවෙන් ඔහු අවට නම් තරමක් ආලෝකයෙන් යුතුවිය...

එය පොළොව යට වූ විසල් පාෂාණයක් සිදුරු කොට තැනූ අඩි සතරක් පමණ පළල් වූත්, බඹයක් තරම් උස් වූත් උමගක් විය... කෙළවරක් නම් සිතාගැනීමටත් නොහැකි තරම්‍ ය... තරමක් දුරට ඇවිදයාමේදී එහි බිත්ති වලත්, හිසට ඉහළිනුත් කඩතොලු තිබූ ඇතැම් ස්ථාන වලින් දිය බිඳු කාන්දු වෙමින් පැවතුණි... එනිසා උමගේ පොළොව මත ඔහුගේ වළලුකර වැසෙන තෙක් පමණ දිය එකතුවී තිබිණි... මුලදී මෙන් නොව දිය එකතු වී ඇති පොළොව බොහෝ සේ ලිස්සන සුලු විය... නුවිධීෂ උමගේ එක් බිත්තියක් සිය අසිපත සහිත සුරතින් අල්ලාගෙන අනෙක් හස්තයෙන් පන්දමද ඔසවාගෙන ඉදිරියට යන්නට විය... විහාධ්‍යයන් කියූ අයුරින් නම් ප්‍රමාද විය නොහැක... නමුදු මෙවන් මගක යුහුසුලු බව යනු හුදෙක්ම වදනක් පමණයි.... එහි ඉදිරියට යාමේදී එතුළ වූ සිසිලස හා ඔහුගේ දෙපා දියෙහි ගිලෙන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන්නට විය... පන්දමෙන් විහිදෙන ආලෝකය හැකිතාක් විහිදී මලානිකව නොපෙනී යන තුරුත් එහි අන්තයක් නම් සොයාගැනීමට නොවීය...

උර තෙක් ගිලුණු දියෙහි අපහසුවෙන් පා තබන විට එක් වරම පොළවෙහි වූ තැනිතලා ස්වභාවය වෙනස්වී තරමක් උස් වන අයුරු ඔහුට දැණුනි... නමුදු එක්වරම සිය පාදය ගොස් එහිවූ ශෛලමය පියගැටයක වැදී පය පැකිලේ යැයි කියා ඔහු අපේක්ෂා කළේ නැත... දියතුළ ගිලෙද්දී හිස එහි වැදීම වළක්වාගැනීමට සිය කඟ ආධාර වුවද, ඔහුගේ දණ එහි පියගැටයක වූ දාරයක තදින් ගැටුණි... එය ගැටුණු ලෙසින් නම් ගැඹුරු කැපුමක් ඇතිවූ වග නොඅනුමානය...

ඔහු සිය දණ අල්වාගනිද්දී හස්තය ස්පර්ශ වූ පහළම පියගැටය මධ්‍යයේ පිටතට නෙරාගිය යම් කැටයමක් ඇති වග ඔහුට දැණුනි... එය තවත් එක් කඩතොලුවක් නොව, සියුම්ව කැටයම් කළ යමක් වග විශ්වාසය... ඔහු නැවත දියෙන් ඉහළට පැමිණ හුස්මක් ගෙන දියෙහි ගිලී එයට ඉහළින් වූ පියගැට කිහිපයද පිරික්සුවේය... නොවේ... ඒවායේ කිසිවක් නොවේ... එසේම දිය මතුපිට බුබුළු නැගෙන්නාක් මෙන් පෙනෙන්නේ එතැන යමක් තිබෙන නිසාවෙන්ද... නොඑසේ නම් තමා නිසාවෙන් දිය කැලතුනු බැවින්දැයි ඔහු නොදනී... එය කුමක්දැයි කියා දැනගැනීමට දැඩි කුහුලක් තිබුණද, මෙය එයට කාලය නොවේ... තමා හැකි තරම් ඉක්මනින් මෙතැනින් පිටවිය යුතුය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Où les histoires vivent. Découvrez maintenant