විහාධීෂ 40

683 133 80
                                    

විහා_ධීෂ

"කොහි යන්නද ඔතරම් හදිසි නුඹට...?"

"කොහි හෝ... රැය පහන් කිරීමට හිසට සෙවණක් සොයාගැනීමට...!"

"කුමක්ද පවසනුයේ...?"

"අනුර නගරයට යා නොහැකියි...! පියාණන් හිඳිනවා...!! මාළිගයට යා හැකියි... නමුදු මා එහි ගියහොත් එහි හිඳිනා මෑණියන් හට ගැටලුවක් විය හැකියි...! අරුණාධි මා හා කෝපයෙන්...!! මාළිගයට වඩා සුරක්ෂිත ස්ථානයක් නැහැ වනුයේ ඈ හට...!"

විහාධ්‍ය කුමරුගේ හඬෙහි කිසිදු හැඟීමක් නැත... සංතෝෂයක්, වේදනාවක්, බියක්, කෝපයක් හෝ අන් කිසිවක් එහි සොයාගත නොහැක...  නුවිධීෂයන් තවමත් ඔහුගේ ඇකයෙහි පෙර හුන් අයුරින්මයි... විහාධ්‍ය කුමරුගේ සුරත නුවිධීෂයන්ගේ ළය මත ඔහු ගෙන තබාගත් අයුරින්ම නොසෙල්වී තිබුණි...

අද සිදුවූ දේ සමගම විහාධ්‍ය කුමරු බොහෝමයකගේ කතන්දර තුළ වරදකරුවකු වී හමාරය... පියාණන් හට ද්‍රෝහි වූ පුත්‍රයෙකි... සරණ වන්නට සිටි සුනීද්ව රජුගේ දූ කුමරිය සිව් මසක් මුළුල්ලේ ආශ්‍රය කොට අතහැර දැමූ අයෙකි... ඉදින් මුලු ද්වීපය පුරාම මේ පුවත් ඒ අයුරින්ම පැතිරී යන වග විශ්වාසය... එවිට පෙරදී සියල්ලන්ගේ ගෞරවාදරයට පත් වූ විහාධ්‍ය කුමරුන්ගේ ද්‍රෝහියෙකු ලෙසින් ලියවන වගට ඔහුට සැකයක් නොවේ...මන්ද යත්, ඔහු සිදුකළ කැපකිරීම් නම් ක්ෂීර කළයට, ද්‍රෝහි වීම නම් වසුරු බිඳුව එක් වී හමාර බැවිනි...

සියල්ල අවසානයේ මෙතරම් හිස් බවක් දැනේ කියා ඔහු නොසිතන්නට ඇත... ගෙයක් පාසා සිඟා යදින යාචකයෙකුගේත් ඔහුගේත් වෙනසක් සොයාගැනීමට ඔහු අසමත් වී ඇති හැඩයි... ඉදින් ඔහු හට එක් ක්ෂණයකින් බොහෝ දේ අහිමි විය... ඔහු හට ශේෂව වූයේ හදවතෙහි දරාගෙන හුන් බැඳීම් කිහිපය පමණි... නමුදු ඒවා වුවද  ඔහුගෙන් දුරස්ව ගොස් ඇත්තාක් සේය...

ඉදින් ඔහුගේ කැපකිරීම් හා දරාගැනීම් වල අවසානයේ ඔහුට ඇවැසි වූ අරමුණු ඉටුවී තිබුණද, කුමක් හෝ නන්නාදුනන හිස් භාවයක් ඔහුව මුළුමුණින්ම වෙළාගෙන තිබුණි...

විහාධ්‍ය කුමරුන්ගේ හැසිරීම නුවිධීෂයන් හට විශ්වාස කළ නොහැකි තරම් ය... මාළිගය තුළ සිටියදී ඔහු හා කලහ කළ විටදී වුවද ඒ දෑස් හැඟීම් වලින් පිරී තිබුණු අයුරු ඔහුට මතකය... තමා හට දුර්වලයෙකු  කියා දොස් නගද්දී පවා ඒ දෑස් සිස් නොවීය... ඔවුන් අතර වූ අමනාපකම් සීමා වූයේ පසුදින අවධි වන තුරු පමණයි... ඉදින් පෙරදින තමා සිදුකළ මුරණ්ඩු ක්‍රියාව නිසා හටගත් අමනාපය මෙතරම් වේලා ඉතිරිව තිබිය නොහැකියි... ඉදින් කිමද මේ...??

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora