45📖️

9.3K 1.4K 348
                                    

"අණ්ණා.."

"පාරෝ.."

"ඇයි ඔයා අඬන්නෙ.."

මං වගේ නෙමෙයි පාරෝ නිතරම පැහැදිලි සිංහලෙන් කතා කරා.. එයාට එහෙම කතා කරන්න හුරු කරෙත් මං වෙද්දී වෙලාවකට මට හිතුණා මම එහෙම නොකරා නම් හොඳයි කියලා.. දැන් කෙල්ල දෙමළ අකුරු ලියන්න පොඩ්ඩක්වත් කැමති නෑ.. එයාට ඕන සිංහල ස්කෝලෙකට යන්නලු..

"අණ්ණා අඬන්නෙ නෑ පාරෝ.. මේ දුම ඇස් වලට ගිහින් කඳුලු ආවේ.. ඔයා ගිහින් අකුරු ලියන්නකො.. නැත්නම් ඔයාටත් කැස්ස හැදෙයි.."

කවදාවත් නැතුව අද මට කඳුලුත් හරි බරට දැනෙද්දී දුම පිටින් දාලා මම මගේ ඇස් වලට උනපු කඳුලු වල ඇත්ත හේතුව හැංගුවා..

"පාරෝට බඩගිනියිනෙ.."

"අයියාට විනාඩියක් දෙන්නකො.. ඉක්මනට රොටි හදලා දෙන්නම්.."

බටෙන් ලිපට පිඹිද්දි සැරින් සැරේට හැදුන කැස්ස හින්දාම මට පාට්ටිව මතක් වුණා.. අනේ එයා ඉඳියා නම් මට මෙහෙම ලිප ළඟ ඉන්න දෙන්නෙ නෑ.. දුම් වැදිලා මාව කලු වෙයි කියලා බැනලා එලවනවා.. කොච්චර අමාරු උනාත් එයා එයාගෙ අත් වලින් මටයි පාරෝටයි තුන් වේලටම කන්න හදලා දුන්නා..

"උණුයි.. අත පුච්චගන්නෙ නැතුව කන්න.."

බෙලෙක් පිඟානට පුච්චපු රොටිය දාපු මං ඒක කෑලි කීපෙකට කඩලා පිඟාන අයිනට සීනි ඇබිත්තක් දැම්මෙ පාරෝට නිකන් රොටි කන්න දෙන්න බැරි නිසා.. පව් අවුරුදු පහක් කියන්නේ තාම හැදෙන වයසනෙ.. පොඩි එකීට මේ ජීවිතේ බරක්පතලක් තේරෙන්නෙ නෑ..

අම්මායි පාට්ටියි දෙන්නාම අපිව දාලා යන්න ගියා.. අප්පාත් ඉස්පිරිතාලෙ.. වේලු මාමා බීගත්ත ගමන්මයි.. මට තේරෙන්නෙ නෑ මම මොනවාද කරන්න ඕන කියලා.. ගේ මුදලාලිට සින්න උනොත් අපි හැමෝටම පාරට බහින්න සිද්ද වෙනවා.. එහෙම උනෝතින් අපි කොහේ කියලා යන්නද..

"උඹලා කනවා තමා.. කාපල්ලා.. කාපල්ලා.. අපිලාව ණයකාරයො කරලා උඹලා කාපල්ලා.."

අදත් බීගෙන හතරගාතෙන් ආපු වේලු මාමා කුස්සියට ඇවිත් මම රොටි පුච්චන්න අනපු පිටි බෝල ටික ⁣තිබුන භාජනේට පයින් ගැහුවේ පාරෝ බය වෙලා බිත්ති මුල්ලට ගුලි වෙද්දී..

කාළි [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz